COPD වැළදෙන්නේ කෙසේද?

වෙනත් බොහෝ ශ්වසන ගැටළු මෙන් නොව, COPD උපතින් ඇති වන්නේ නැත. එනිසා ඔබට ඉන් ආරක්ෂා වීමට පූර්ණ හැකියාවක් තිබේ. එය ඇතිවන්නේ COPD රෝගකාරක වලට දිගුකාලයක් පුරාවට නිරාවරණය වීමෙනි.

දුම්පානය COPD සඳහා වඩාත් පොදු හේතුවයි. COPD සහිත බොහෝ පුද්ගලයන්, සැලකිය යුතු කාලයක් දුම්පානය කර ඇත. දුම් නොබොන අය පවා වෙනත් කෙනෙකුගේ දුම ආශ්වාස කිරීම නිසා පීඩාවට ලක් විය හැකිය. කෙසේ වෙතත්, දුම් පානය කරන සෑම කෙනෙකුටම COPD වැළදෙන්නේ නැත. නිවසේදී හෝ රැකියා ස්ථානයේ දී රෝගකාරක වලට දිගු කාලීනව නිරාවරණය වන පුද්ගලයින් තුළද COPD හටගත හැක. මෙම හානිකර රෝගකාරක සමහරක් ආහාර පිසීමේ උදුන් හෝ කාමර හීටර් වලින් පිට වේ. ගල් අඟුරු ආකර වැනි දූවිලි සහිත, දුම් හෝ වායු දූෂිත ස්ථානවල, සිමෙන්ති, රෙදිපිළි, රසායනික ද්‍රව්‍ය සහ ස්වර්ණාභරණ විද්‍යුත් ආලේපනය වැනි කර්මාන්තවල වසර ගණනාවක් සේවය කළ පුද්ගලයින් ද COPD අවදානමට ලක් වේ. ඇතැම් අවස්ථාවල ජානමය හේතු නිසා COPD වැළඳුණු අය ද වේ.

දුම්කොළ දුම හෝ වෙනත් හානිකර අංශු දිගු කාලීනව ආශ්වාස කිරීම නිසා ශ්වසන මාර්ගයේ ප්‍රදාහ ඇතිවන අතර පෙණහලු ඝන වීමට එය බලපායි.

COPD වඩාත් සුලභ වන්නේ වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් තුළ ය. ඒ, සාමාන්‍යයෙන් පෙනහළු හානි වී COPD රෝග ලක්ෂණ ඇති වීමට වසර ගණනාවක් ගත වන බැවිනි.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

දරුවන් අතර ඇදුම වෙනස් වන ආකාරය

දරුවෙකු ඇදුම රෝගයෙන් පෙළෙන බව හඳුනාගත් විට, දෙමාපියන් ප්‍රශ්න රාශියකට මුහුණ දෙයි - ඇයි මගේ දරුවාටම මෙහෙම වුණේ? මගේ දරුවා සාමාන්‍ය අයෙකු ලෙස වැඩිවියට පැමිණේවිද? මගේ දරුවාට ක්‍රීඩා කිරීමට හැකිවේද?

ඇදුම ගැන කරදර විය යුතු නැත. ගැටලුව, රෝග ලක්ෂණ, රෝගකාරක සහ ප්‍රතිකාර පිළිබඳ මනා අවබෝධයක් ඇතිවිට දරුවාගේ ඇදුම පාලනය කර ගැනීම අතිශයින් පහසු වන අතර, එවිට ඔබේ දරුවාට නිරෝගී සහ සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ඇදුම යනු ලොව පුරා ළමුන් අතර බහුලව ම දක්නට ලැබෙන ශ්වසන ගැටලුවයි. ළමුන් මිලියන ගණනක් ඇදුම රෝගයෙන් පෙළෙන අතර ඔවුන් එය හොඳින් පාලනය කරගනියි. ඉතින්, ඔබ තනිවී නැත.

සමාජ මතයන් කුමක් කීව ද ළමුන්ට ඇතිවන ඇදුම වැඩිහිටියන්ගේ ඇදුමට වඩා වෙනස් ය. වැඩිහිටියන් හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතාව, කැස්ස සහ පපුවේ තද ගතිය වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත්, දරුවන්ගේ රෝග ලක්ෂණ විවිධාකාර වේ. බොහෝ ඇදුම ඇති දරුවන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ කැස්ස යි. නොනවතින කැස්ස (සති 3-4 කට වඩා වැඩි කාලයක් පවතින) ළමුන් තුළ ඇදුම ඇති බවට දර්ශකයක් විය හැකිය.

නිවැරදි ප්‍රතිකාර සහ කළමනාකරණය සමඟ ඇදුම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව මතක තබා ගැනීම වැදගත්ය. එනම් ඔබේ දරුවාට සාමාන්‍ය දිවියක් ගෙවිය හැකිය.

ඇදුම පාලනය කළ හැකි බැවින් ඔබේ දරුවාගේ වර්ධනය ගැන කරදර විය යුතු නැත.

ඔබේ දරුවාට ඇදුම තිබේ නම් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

  • ඔබේ දරුවාගේ ඇදුම ඇති කරවන රෝගකාරක හඳුනාගෙන ඒවා වළක්වා ගන්න.

  • ඔබේ දරුවාගේ රෝග ලක්ෂණ කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න.

  • ඔබේ දරුවා සඳහා නිර්මාණය කර ඇති ඇදුම පාලන සැලැස්ම අනුගමනය කරන්න

  • ඉන්හේලර් සහ අනෙකුත් ඖෂධ නිවැරදිව භාවිතා කරන ආකාරය ඉගෙන ගෙන, එය ඔබේ දරුවාට උගන්වන්න

  • පැටලීම වැළැක්වීමට පාලක සහ සහනකාරක ඉන්හේලර් වෙන වෙනම ලේබල් කරන්න

  • දරුවා පාසල්, ක්‍රීඩා පිටිය, විනෝද චාරිකා වැනි කොහි ගියත් සහනකාරක ඉන්හේලරය ළඟ ඇති බවට සහතික වන්න

  • ඇදුම ගැන ඔබේ දරුවාට පහසු ආකාරයකින් පැහැදිලි කර දෙන්න. එවිට දරුවා එය අවබෝධ කරගනු ඇත. ඉන්හේලර් වලින් ලැබෙන ප්‍රයෝජනය සහ ඇදුම සම්බන්ධ හදිසි අවස්ථා වළක්වා ගත හැකි ආකාරය ඔබ පැහැදිලි කරන්නේ නම් එයද උපකාරී වනු ඇත

  • ඇදුම ඇති වූ විට ඔබ කළ යුතු පළමු දෙය නම් සන්සුන්ව සිටීම සහ සියල්ල හොඳින් සිදුවනු ඇති බවට ඔබේ දරුවාගේ සිත සැනසීමයි. මෙය සිදු කරන අතරතුර, ඇදුම සඳහා වන හදිසි උපදෙස් අනුගමනය කරන්න

  • ඔබේ දරුවාගේ ඇදුම ගැන පවුලේ අයට, රැකබලා ගන්නන්ට සහ පාසලට දැනුම් දෙන්න. ඇදුම පාලන සැලැස්ම ඔවුන් සමඟ බෙදා ගන්න. ඔවුන්ට හදිසියකදී ඇමතීමට දුරකථන අංක සැපයීමට අමතක නොකරන්න.

  • කෙසේ වෙතත් කළ යුතු වැදගත්ම දෙය නම්, ඔබේ දරුවාට සාමාන්‍ය දිවියක් ගත කිරීමට ඉඩ දීමයි. ඔබේ දරුවාට නර්තනයට, ක්‍රීඩා කිරීමට, පිහිනීමට හෝ ආත්මාරක්ෂක සටන් කලාවන් පුහුණු වීමට අවශ්‍ය නම් ඊට ඉඩ දෙන්න. ඔබේ දරුවාට ඇදුම ඇති පමණින්, ඔහුට/ඇයට විනෝදයෙන් පිරුණු ළමා කාලයක් ගත කළ නොහැකි බව ඉන් අදහස් නොවේ.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ඇදුම ඇතිවීම

ඔබ රෝගකාරකයකට නිරාවරණය වූ විට ඇදුම ඇතිවිය හැක. ශ්වසන මාර්ගය අවට මාංශ පේශී එක්වරම තද වන අතර අධික ලෙස ශ්ලේෂ්මල ස්‍රාවය වේ. මෙම සියලු සාධක නිසා ඇදුම රෝග ලක්ෂණ හදිසියේම නරක අතට හැරේ.

ඇදුම රෝග ලක්ෂණ:

  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • ශ්වසනයේ දී හඬක් ඇතිවීම (වීස් එක)
  • තදබල කැස්ස
  • පපුව හිරවීම
  • භීතිය

රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන්, ඔබට ඇදුම ඇතිවීම නැවැත්විය හැකිය. නැතහොත් එය නරක අතට හැරීම වළක්වා ගත හැකිය. දරුණු ලෙස ඇදුම ඇතිවීමෙන් ජීවිත තර්ජනයක් ඇති විය හැකිය.

ඇදුම රෝගය වැළඳීමකදී කුමක් කළ යුතුද?

ඔබ ඔබේ පාලක ඖෂධ නිතිපතා ලබා ගන්නේ නම්, ඔබට ඇදුම රෝගය වැළඳීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔබට හෝ ඔබ අවට සිටින කෙනෙකුට ඇදුම රෝගයක් ඇති වූ විට කළ යුතු පළමු දෙය නම් සන්සුන්ව සහ විවේකීව සිටීමට ඉඩ හැරීමයි. ඉන්පසු මෙම පියවර අනුගමනය කරන්න.

  • ඍජුව ඉඳගෙන ඔබේ ඇඳුම් ලිහිල් කරන්න.
  • නිර්දේශිත ක්ෂණික සහනකාරක ඖෂධ ඉන්හේලරයක් ඉක්මණින් ලබා ගන්න.
  • ඉන්හේලරය භාවිතා කර විනාඩි 5ක් ඇතුළත ඔබට සහනයක් නොලැබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නියම කරන ලද සහනකාරකයෙන් වැඩිපුර මාත්‍රාවක් ගන්න.
  • තවදුරටත් සහනයක් නොමැති නම්, වෛද්‍යවරයා අමතන්න. නැතහොත්, ළඟම රෝහලට ඉක්මනින්ම යන්න. වෛද්‍ය උපදෙස් නොමැතිව සහනකාරක අධි මාත්‍රාවන් ගැනීමෙන් වළකින්න

ඔබට හෝ ඔබ අවට සිටින අයෙකුට පහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති රෝහල වෙත යාම වැදගත් වේ.

  • දුර්වර්ණ වූ (නිල් හෝ දම් පැහැ) තොල්, මුහුණ හෝ නිය
  • හුස්ම ගැනීමේ දැඩි අපහසුතාව
  • කතා කිරීමට හෝ ඇවිදීමට අපහසු වීම
  • හුස්ම ගැනීමේ අපහසුව නිසා ඇතිවන අධික කාංසාව හෝ භීතිය
  • පපුවේ වේදනාව
  • වේගවත් හෘද ස්පන්දනය සහ මුහුණ සුදුමැලි වී දහඩිය දැමීම

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝගය පාලනය

ඇදුම ගැටලුකාරී තත්ත්වයක් නමුත් නිසි ප්‍රතිකාර සහ නිසා සැලැස්මක් සමඟින්, ඔබට ඇදුම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැක. එවිට එය ඇති බව හෝ ඔබට අමතකව යනු ඇත

  • හේතු නිශේධනය කරන්න

එකිනෙකාට ඇදුම ඇතිවන ආකාරය වෙනස් ය. එබැවින් ඔවුන්ගේ රෝගකාරක ද වෙනස් වේ. ඔබේ ගැටලුව සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා, ඔබ ඔබේ රෝගකාරක හඳුනාගෙන ඒවායෙන් හැකිතාක් වැළකිය යුතු වේ.

  • නිරන්තරයෙන් ප්‍රතිකාර ගැනීම

ඇදුම සඳහා වන ඖෂධ සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ඉන්හේලර් හරහා ය. එමඟින් ඖෂධ සෘජුවම පෙනහළු වෙත ළඟා වන බැවින් අතුරු ආබාධ අවම කරවයි. ඔබේ වෛද්‍යවරයා සාමාන්‍යයෙන් ඖෂධ වර්ග දෙකක් නියම කරයි. එනම්, දිගුකාලීන (පාලක හෝ වැළැක්වුම්) සහ ක්ෂණික සහනය (සහනකාරක හෝ ගැලවුම්කාරක). පාලක රෝග ලක්ෂණ සහ ඇදුම රෝග වැළැක්වීම සඳහා දිගු කාලීනව ලබා දෙනු ලැබේ. මෙම ඖෂධ ඇදුම රෝගීන්ගේ ශ්වසන මාර්ගයේ පවතින ප්‍රදාහවලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, පාලක ක්ෂණික හෝ ඉක්මන් සහන ලබා නොදෙන බව මතක තබා ගැනීම වැදගත්ය. සහනකාරක ශ්වසන මාර්ගය ලිහිල් කරන අතර ඔබට හුස්ම ගැනීම පහසු කරවයි. ඉන් ක්ෂණික සහනයක් ලැබෙන අතර රෝග ලක්ෂණ වැඩිවන අවස්ථාවලදී යොදා ගැනේ. ඇදුම පාලනය කර ගැනීම සඳහා ඔබ මෙම ඖෂධ වෛද්‍යවරයා විසින් නියම කර ඇති පරිදි ම ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. පාලක ඖෂධ නිරන්තරයෙන් ගැනීමෙන් සහනකාරක ගැනීමට ඇති අවශ්‍යතාව අවම කරවනු ඇත.

  • පීක්-ෆ්ලෝ මීටරය භාවිතය

පීක්-ෆ්ලෝ මීටරයක් යනු අතේ ගෙන යා හැකි කුඩා උපකරණයකි. එය ඇදුම පරීක්ෂා කිරීමට උපකාරී වේ. එය පෙණහළුවලින් වාතය පිට වන ප්‍රමාණය මැන බලයි. මෙම මිනුම උපරිම ශ්වසන ප්‍රවාහ අනුපාතය (PEFR) ලෙස හැඳින්වේ. වෛද්‍යවරයාගේ සහාය ඇතිව ඔබේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඔබට ඉලක්කයක් සකසා ගත හැකිය. පීක්-ෆ්ලෝ මීටරයක් නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට Breathefree සායනයකට යන්න..

  • ඇදුම පාලන සැලැස්ම

ඇදුම පාලන සැලැස්මක් යනු ඔබේ ඇදුම අවම කරගැනීමට උපකාර කිරීම සඳහා ඔබ ඔබේ වෛද්‍යවරයා සමඟ ගොඩනගා ගන්නා ලිඛිත සැලැස්මකි. එමඟින් ඔබ ඇදුම දිනපතා පාලනය කරන්නේ කෙසේද, කුමන ආකාරයේ ඖෂධ ලබා ගත යුතුද සහ ඒවා ගත යුත්තේ කවදාද යන්න පෙන්වයි. ඔබේ ඇදුම රෝග ලක්ෂණ වැඩි වීමක් ඇත්නම් ගත යුතු ඖෂධ සහ අනුගමනය කළ යුතු පියවර පිළිබඳවද සැලැස්ම ඔබට මඟ පෙන්වයි. වෛද්‍යවරයා ඇමතීමට හෝ ළඟම ඇති රෝහලට යා යුත්තේ කුමන අවස්ථාවේ ද යන්නත් එය පෙන්වා දෙයි.

  • නිතර වෛද්‍යවරයා හමුවීම

ඔබේ රෝග ලක්ෂණ පාලනය වී තිබේද නැද්ද යන්න නොසලකා ඔබේ නිතිපතා වෛද්‍යවරයා හමුවීම වැදගත් වේ. ඔබේ රෝග ලක්ෂණ, ඇදුම සඳහා වූ ඖෂධ සහ ඔබ ගන්නා වෙනත් ඖෂධ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ නිතරම කතා කරන්න. එමඟින් ඔබේ ඇදුම පාලනය කිරීමට, ඇතිවීම වළක්වා ගැනීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාරී වන ඵලදායී ක්‍රමවේදයක් නිර්මාණය කර දීමට ඔබේ වෛද්‍යවරයාට හැකි වේ.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

රෝග විනිශ්චය

ඇදුම රෝග විනිශ්චය සඳහා තනි පරීක්ෂණයක් නොමැත. ඔබ සමඟ කතා කිරීම, පරීක්ෂා කිරීම සහ හුස්ම ගැනීමේ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම හරහා ඔබට ඇදුම තිබේද යන්න ඔබේ වෛද්‍යවරයාට නිර්ණය කරගත හැකිය

ඔබේ වෛද්‍යවරයාට ඔබේ රෝග ලක්ෂණල, ඖෂධ, අසාත්මිකතා සහ ඔබ මුහුණ දෙන වෙනත් සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම වැදගත් වේ. මෙය ඔබේ වෛද්‍යවරයාට ඔබේ ගැටලුව ඉක්මනින් හා නිවැරදිව හඳුනා ගැනීමට පහසුවකි.

ඇදුම බොහෝ විට පාරම්පරිකව ඇතිවන්නකි. එබැවින්, ඔබේ පවුලේ කෙනෙකුට ඇදුම හෝ අසාත්මිකතා තිබේදැයි දැන ගැනීම සඳහා ඔබේ පවුලේ වෛද්‍ය ඉතිහාසය පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ. මෙය ඔබේ වෛද්‍යවරයාට ඔබේ නිරීක්ෂණ පිළිබඳව ගැඹුරින් බැලීමට සහ ඇදුම ඇතිදැයි ඔබව පරීක්ෂා කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමට උපකාරී වේ.

බොහෝ රෝග විනිශ්චයන් රෝග ඉතිහාසය මත පදනම් වන අතර, ඔබේ වෛද්‍යවරයා විසින් ගැටලුව හඳුනාගෙන ප්‍රතිකාර සැපයීමට හුස්ම ගැනීමේ පරීක්ෂණ ද නිර්දේශ කරනු ලැබිය හැක.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ඇදුම රෝග ලක්ෂණ

ඇදුම රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා පහසුය. ඇදුම රෝගයේ පොදු රෝග ලක්ෂණ වන්නේ:

හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමේ අපහසුතාව: ඔබට ඔබේ පෙනහළු තුළට ප්‍රමාණවත් වාතය ලබා ගැනීමට හෝ පිටතට යැවීමට නොහැකි බවක් දැනෙන අතර, ශ්වසනය අපහසු වේ.

නිතර ඇතිවන හෝ නොනවතින කැස්ස: ඔබට දින ගණනාවක් තිස්සේ නොනවතින කැස්සක් ඇති අතර, ඔබ බොහෝ විට රාත්‍රියේ දී හෝ ව්‍යායාම කිරීමකින් පසුව කැස්ස ඇති වන බවක් දැනේ.

ශ්වසනයේදී හඬක් ඇතිවීම :’Wheeze’*: ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම විසිල් හඬක් ඇසේ.

පපුව හිරවීම: යමෙකු ඔබේ පපුව මත තෙරපන්නාක් හෝ වාඩි වී සිටින්නාක් මෙන් ඔබට පපුවේ තද බවක් ඇති වේ.

ඇදුම රෝගයෙන් පෙළෙන සෑම පුද්ගලයෙකුම මෙම සියලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. නිදසුනක් වශයෙන්, සමහරුන්ට අධික කැස්ස නිසා රාත්‍රියේ නින්දට බාධා ඇති විය හැකි අතර තවත් සමහරු ව්‍යායාම කරන විට හුස්ම හිරවනු අත්විඳිය හැකිය. මෙම රෝග ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් ය. එය ඔබේ වෛද්‍යවරයාට ඔබේ තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට පහසුවකි.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

Cipla පිළිබඳව

Cipla යනු උසස් තත්ත්වයේ වෙළඳ සන්නාම සහිත, සහ සාමාන්‍ය ඖෂධ අලෙවිය සඳහා කැප වූ ප්‍රමුඛ පෙළේ ගෝලීය ඖෂධ සමාගමකි. අප සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ විවිධ රටවල සිටින රෝගීන්ගේ විශ්වාසය දිනා තිබේ. පසුගිය දශක 8 තුළ, අපි ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය තුළ අපගේ පුරෝගාමීත්වය ශක්තිමත් කර ඇති අතර, ‘ජීවිතය රැකදීම‘ පිළිබඳ අපගේ පොරොන්දුව ශක්තිමත් කර තිබේ.

අපි දැන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එක්සත් ජනපදය සහ නැගී එන ලෝකයේ අනෙකුත් ආර්ථිකයන්හි ප්‍රධාන වෙළඳපොළවල් තුළ අපගේ අඛණ්ඩතාව තහවුරු කිරීම සහ පුළුල් කරමින් අපගේ ගෝලීය හැකියාවන් ශක්තිමත් කරමින් සිටින්නෙමු.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ඉන්හේලර් හොඳ ඇයි?

පෙති සහ සිරප් වලට වඩා ඇදුම සහ COPD වැනි ශ්වසන රෝග වලට ප්‍රතිකාර කිරීමේ වඩාත් ඵලදායී ක්‍රමය ලෙස ඉන්හේලර් පිළිගැනේ

ඉන්හේලර් නිසා ඖෂධ නිසි ස්ථානයට ක්ෂණිකව ලැබෙන බැවින් ඉක්මන් සහනයක් ලද හැකි වේ. පෙති සහ සිරප් ගත් විට ඒවා ජීර්ණය වීමට එනම්, ආමාශයට ගොස් රුධිරවාහිනී වෙත ඇතු`ඵ වී අවසානයේ පෙනහ`ඵ වෙත යාමට කල් ගතවන බැවින් ක්ෂණික සහනයක් නොලැබේ.

එපමණක් ද නොව, ඉන්හේලර්වල ඖෂධයට සමාන බලපෑමක් ඇති කිරීම සඳහා විශාල මාත්‍රාවක් ගත යුතු වේ.

ඉන්හේලර් හරහා ඖෂධ නිසි ස්ථානයට ක්ෂණිකව ගමන් කරන හෙයින් ගත යුතු මාත්‍රාව අඩුය. මේ නිසාම ඉන් ඇතිවන අතුරු ආබාධයන් ද අවම වේ. දරුවකුගේ සාමාන්‍ය ජීවිතය ගත කිරීමට ඉන්හේලර් වලින් ඉමහත් සේවාවක් සැපයේ

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

නිදන්ගත පුප්ඵුශීය අවහිරතා රෝගය (COPD) යනු කුමක්ද?

නිදන්ගත: එය දිගු කාලීන වන අතර පහව යන්නේ නැත

පුප්ඵුශීය: පෙනහළු/ශ්වසන පද්ධතිය සඳහා වන වෛද්‍ය යෙදුම

අවහිරතා: පෙනහළු වලින් වාතය ගලා යාම අර්ධ වශයෙන් අවහිර වී ඇත

රෝගය: සෞඛ්‍ය ගැටළුවකි

COPD යනු ඔබේ පෙනහළු තුළට සහ පිටතට වාතය ගෙන යන ශ්වාස නාල වල අවහිරතා ඇති කරවන පෙනහළු ආශ්‍රිත ගැටලුවකි. ඔබේ ශ්වාස නාල පටු වූ විට ඇතුළු විය හැකි වාතය ප්‍රමාණය බෙහෙවින් අඩු වේ. එසේම වාතයට ඔබේ පෙනහළුවලින් ඉවතට පිටවීමට ද නොහැක. මේ නිසා ඔබේ පෙනහළු පිරුණු බවක් දැනේ. පපුව තද වන බවක් දැනේ. හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනේ. මේ සියල්ල හුස්ම ගැනීම අපහසු කරයි. ඒ ගැන සැලකිලිමත් නොවන්නේ නම්, කාලයත් සමඟ එය නරක අතට හැරිය හැක. එය භයානක ලෙස දැනෙනමුත් බිය වීමට කාරණයක් නොමැත. නිසි ප්‍රතිකාර හරහා එය පාලනය කර සුවදායී දිවියක් ගත කළ හැක. මේ හරහා ඇවිදීම, විනෝද චාරිකා යාම වැනි ඔබ කැමති ඕනෑම දෙයක් කළ හැක. COPD ගැන මතක තබා ගත යුතු තවත් වැදගත් දෙයක් තිබේ. එනම්, එය බෝ නොවන රෝගයක් නිසා, එයින් පීඩා විඳින්නෙකු ඇසුරු කළ පමණින් ඔබට COPD නොවැළඳයෙි

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න

ඇදුම යනු කුමක්ද?

ඇදුම යනු බිය සහ කාංසාව ඇති කරන තත්වයක් නමුත් ඊට බිය විය යුතු නැත. සරලව කිවහොත් ඇදුම යනු පෙනහළු තුළ වායු පරිවහනයට බලපාන ශ්වසන ගැටලුවකි. මෙහිදී සිදු වන්නේ ප්‍රදාහ ඇති කරවන ද්‍රව්‍යවලට එරෙහිව ශ්වසන මාර්ගය ප්‍රතික්‍රියා කිරීමෙන් ශ්වසන මාර්ග පටු වී, දැවිල්ල ඇතිවී හුස්ම ගැනීම අපහසු වීමයි. මෙය ශ්වසන මාර්ගවල ශ්ලේෂ්මල පටලය මගින් අමතර ශ්ලේෂ්මල ස්‍රාවයක් වීමට ද හේතු විය හැකි අතර, ඉන් තවදුරටත් ශ්වසන මාර්ග පටු වීමට හේතු වේ. මෙය භයානක ලෙස පෙනෙන නමුත් එතරම් බිය වීමට හේතුවක් නොවේ.

ඔබට සාමාන්‍ය, ක්‍රියාශීලී ජීවිතයක් ගත කළ හැකියි

ඇදුම අඛණ්ඩව පවතින්නක් ද? නැතහොත් තාවකාලික යමක් ද? සෘතුමය ඇදුම ලෙස හැඳින්වෙන තත්වයක් තිබෙන අතර, එහි රෝග ලක්ෂණ එක් කාලයක දී නරක අතට හැරිය හැකි අතර තවත් කාලයක දී නැතිව යයි. මෙමගින් ඇදුම යනු කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව පවතින තත්වයක් බවට වැරදි මතයක් සමාජයේ ගොඩ නැගේ. කෙසේ වෙතත්, ඇදුම දිගු කලක් පවතී. නමුත් ඔබ ඇදුම ගැන වැඩි විස්තර දැනගත් පසු ඇදුම පාලනය කිරීම සහ එය ඇතිවීම වළක්වා ගැනීම එතරම් අපහසු නොවේ.

එක් එක් පුද්ගලයාට ඇදුම ඇති වන ආකාරය විවිධාකාර වේ. ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඇදුම රෝගය සාර්ථකව පාලනය කර ගත් බොහෝ අය සිටින බවයි. ලොව පුරා මිලියන 300 ක පමණ ජනතාවක් ඇදුම රෝගයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයාගෙන ඇත. එනම්, එය පොදු තත්වයක් වන අතර, ඔබ වැනිම තවත් අය මෙලොව සිටියි.

අවාසනාවකට මෙන්, ඇදුම රෝගයට ප්‍රතිකාරයක් නොමැති නමුත්, නූතන වෛද්‍ය විද්‍යාවට රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත. එවිට ඔබට ඇදුම ඇති බව සම්පූර්ණයෙන්ම පාහේ අමතක කර දැමිය හැකිය. එබැවින්, ඇදුම ඇතත් සාමාන්‍ය, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. චිත්‍රපට ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ලෝකයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවා ඇදුම රෝගයෙන් පෙළෙන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් රාශියක් සිටින නමුත් එය ඔවුන්ට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බාධාවක් වී නැත.

හුස්ම ගැනීමේ ගැටළු පිළිබඳ වැඩි විස්තර සඳහා Breathfree ක්ලිනික් හි Breathfree අධ්‍යාපනඥයා

අපව සොයා ගන්න